Saturday, March 23, 2013

පුතු


මා පළමු වතාවට මවක් වුනේ මේ ඊයේ පෙරේදා ය.  නිදි නැති රැයවල්, මගහැරුණු කෑම වේල් මට දැන් පුරුදු දේ වී  තිබේ. 

පුතා පාන්දර සිට නිදි නැත. කුකුළා හඬලන්නටත්  කලින් ඇහැරෙන ඔහු අත පය ගසමින්, "ආ ඕ" කියමින් සිටියි. මම අමාරුවෙන් ඔලුව කෙලින් කරගෙන, බාගෙට ඇරුණු ඇස් වලින් ඔහු දෙස බලා හිඳිමි. විටෙක මා දෙසට හැරෙන ඔහු කිරි ඉල්ලන්නට කට  හදයි. කකුල් දෙකෙන් බයිසිකල් පදියි. අත් දෙකටත් නිනව්වක් නැත. 

ඔක්කොම මහන්සි නැති වෙන්නේ පුතා මදෙස බලා සිනැසෙන විටය. සමහරක් විටෙක මා ඔහුට ආදරේ බව පවසන විට ඔහු ඉතා සතුටෙන් හිනා වෙයි. හරියට මා කියන දේ තේරුණා සේය. මගේ මුහුණ දෙස බලා "ඕ ඕ" කියයි.  මා ඔහුව සිප ගන්නා විට වේගයෙන් අත් පා  ගසයි. 

මීටත් වඩා සතුටක් ලෝකයේ තිබෙන්නට විදියක් නැත. මා මෙතරම් වාසනාවන්ත වූයේ කෙසේදැයි සිතෙන විට මගේ සිතට අනියත බියක් දැනෙයි.  සෑම නව මවකටම එසේ සිතේදැයි මම කල්පනා  කරමි. 

පුතා කිරි බොනවා ඇතිද, නිදනවා ඇතිද, වැඩීම හොඳයිද, දාහක් ප්‍රශ්න මගේ ඔලුවේ සැරිසරයි. මගේ මව අතේ සිට මා ඉල්ලා හඬන විට මම ඔහුව වඩා නොගත්තොත් ඔහුට එය මානසිකව බලපායිද? ඊළඟ ප්‍රශ්නය මේවා වෛද්‍යවරයාගෙන් ඇසිය හැකිද යන්නයි.  

මවක් වීම ලේසි නැත. 

3 comments:

  1. Awww you are AMAZING for being a mother ! AND you ARE an amazing mother. It's incredible and absolutely blows my mind. :) And relax, he's fine..

    ReplyDelete
  2. Just randomly started reading your blog again. You should write more ! You write so well and beautifully.

    @Blissfully ignorant* , you too .

    ReplyDelete

I'd love to hear what you think. Please leave a comment. :D