Saturday, December 29, 2012

බල්ලාගේ මරණය රසාස්වාදනය කිරීම

අපේ ගෙදර සුරතල් බැල්ලිය මරණයේ දොරටුව අභියස සිටී. මිය යාමට තරම් වයසක් තවමත් නැතිමුත් හදිසියේ රෝගාතුර වූ ඇය යන්තම් හිසවත් ඔසවා ගනු නොහැකිව ඔහේ වැතිර සිටී. ඇගේ නමින් කථා කළවිට වලිගය  හෙමිහිට සොළවයි. ගෙදරට පැමිණෙන අමුත්තන්ට ගෙරවීමට උත්සාහ දරයි. ගෙදර සියල්ලන්ම දුකිනි.


ඒ අතර මගේ පියාගේ විද්වත් මිතුරන් තමන්ගේ ශෝකය ඔහුට මෙලෙස ප්‍රකාශ කරයි. 

ප්‍රවීන ගත කතුවරයෙකුද පුවත්පත් තීරු රචකයෙකුද වන එක් මිතුරෙක් මගේ පියාට මෙසේ කියයි.
"අර මගේ, මේ පොතේ, මෙන්න මෙතන, බල්ලෙකු ගැන මෙහෙම කථාවක් තියෙනවා. කතාවේ කථා නායකයා තමාගේ සුරතල් බල්ලා, බලු පැටියෙකු කල දරුණු රෝගයකින් බේරා ගන්නවා. මහලු වී ලොම් හැලී ගිය පසුද එම බල්ලා නැවතත් තමාව බේරා ගනී සිතා ඔහු ලඟටම වී සිටිනවා."

තවත් මිතුරෙක් මගේ පියාට දුරකථනයෙන් අමතා මෙසේ කියයි. ඔහුද ලෝකප්‍රකට සිනමා කරුවෙකි. 
"බල්ලට කොහොමද? සිරි ගුණසිංහගේ අභිනිෂ්ක්‍රමණය පොතේ බල්ලාගේ මරණය නමින් කවියක් තිබෙනවා."
ඔහු එයින් නොනැවතී බල්ලාගේ මරණය නම් එම කවිය මගේ පියාට දුරකතනයෙන් පවසයි.
ඔහු එයින්ද නොනැවතේ. ස්වල්ප මොහොතකට පසු මගේ පියාට කෙටි පණිවිඩයක් එවමින් සිරි ගුණසිංහගේ කවියේ තතුද බල්ලන්ගේ මරණ ගැන ලියා තිබෙන වෙනත් කවීන්ගේ තවත් කවිවල තතුද අනුපිලිවෙලට දන්වා සිටී.

බල්ලාට කෙසේ වෙතත් මටනම් නැට්ටටම තදවෙන්නේ එවිටය.

2 comments:

  1. Nice ! Thank you for this :) Well done.

    p.s

    I am depressed about the dog.

    ReplyDelete

I'd love to hear what you think. Please leave a comment. :D